Tuesday, May 8, 2012

කඩදාසි සුවඳ


තෙත් කැවු ටිෂූ කඩදාසි පැකට් එකක් තෑගි දුන්නම පොඩි දෙගිඩියාවක් දැනුණත් සන්තෝසෙන් බාරගත්තෙ මම කවදත් තෑගි වලට කැමති නිසා. යාළුවොන්ට ලේන්සු දුන්නම තරහ වෙනවා කියනවනෙ. දැන් ඉතින් වැඩි දෙනෙක් ලේන්සු වෙනුවට පාවිච්චි කරන්නෙ ටිෂූ නිසා තමයි ඉතින් පොඩි පහේ දෙගිඩියාවක් ආවෙ. ඔයවගේ තේරුමක් නැති දේවල් හිතන්න මම ඉතින් කවදත් දස්සයා නෙ.
කොහොම හරි පාවිච්චි කරන්නෙත් නෑ කියලා හිතාගත්ත ටිෂූ පෙට්ටිය එදාම කඩන්න වුණා. දැන් ඉතුරු ටිෂූ 9 යි.
පහුවදා කෙටි නිවාඩුවක් දාලා සුපුරුදු කොට්ට පුළුන් ගහ යට බස් නැවතුමට එනකොට කාන්තාවක් ටිකක් කලබලෙන් එහෙ මෙහෙ යනවා.බලනකොට මේ ගහ යටට එන බොහෝ දෙනෙක්ට වෙන දේම තමයි ඇයටත් වෙලා තියෙන්නෙ. ඔය කුරුළු වර්චස් නාන්න වෙන බව දන්න පුරුදුකාරයො නම් සාමාන්‍යයෙන් ගහ යට රැඳෙන්නෙ නෑ.
ඇය අත පිරිසිඳු කරගන්න වතුර ටිකක් හොයනවා. මොන වතුරද එතන. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා ඔය වසුරු තලිය උඩට වතුර දැම්මහම වෙන වැඩේ. අර ටිෂූ පැකට් එක මගේ මතකයට ආවා. ඒත් එක්කම මහා ලෝබකමකුත් ආවා. මොකද ටිෂූ පැකට් එකෙ තියෙන්නෙ මූල්‍යමය වටිනාකමක් නෙවෙයි නෙ. මගේ ලෝබ හිත ජය ගන්නකොට අර කාන්තාව පාරෙ වැටිලා තිබුණු කොල කෑල්ලක් අතට අරගෙනත් තිබුණා. ටිෂූ කොල දෙක සලස්සපු සහනය මට ඇයගෙ මූණෙන්ම පෙනුණා. මගේ හිතටත් කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. ඇය මට ස්තුති කරල ඊළඟ බසයට ගොඩවුණා. මට එකපාරටම සඳුන් සුවඳක් දැනුණා. මම හෙමින් සැරේ මගේ අත නාහෙ ගාවට ගෙනාවා. මගේ අත සඳුන් සුවඳයි. ඒ තෙත් කැවූ ටිෂූ කඩදාසි සඳුන් සුවඳ කවපුවා වුනත් ඊයෙ මට සඳුන් සුවඳ දැනුණෙ නෑ නෙ. ඇයි මේ වෙලාවෙම?

Thursday, May 3, 2012

යළි උපදින්න සිතා - විගසින් මිය යන්න සිතේ


හැම කෙනෙක්ගෙම සුභ ප්‍රාර්ථනා කියමන් කන් වලට වැටෙද්දි මම හැංඟෙන්න තැනක් හොයනවා. "මට ඔයා ගැන ආඩම්බරයි" අම්මත් තාත්තත් කියනවා. "මම දැනගෙන හිටියා ලොක්කා නියම හිතක් තියෙන කෙනෙක් කියලා" ආච්චි අම්මා කියනවා. ඒ වුනත් මගේ හිතේ ඇතුලාන්තය කාටහරි පෙනුනොත් එයාලා මොනවා හිතයිද? දුරකථනයෙන් ඒ අසුභ ආරංචිය කියන්න කතා කරපු එයාගෙ තාත්තා පවා මාව වර්ණනා කළා ලු.ඇත්තට හෝ බොරුවට. ඒත් දැන් මට නිදහසේ අඬන්නවත් තැනක් නෑ. මගේ දුක කියන්න කෙනෙක් නෑ. කවුරුවත් නැති තැනකට වෙලා ඇස් රතුවෙනකල් අඬන මම බස් එකේත් හිනා වෙවී ගිහින් ගෙදර ගිහිල්ලත් හිනාවෙවී ඉන්නවා.
ඇයි ඔහු මෙච්චර විශේෂ කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන්නෙ බොහොම සරල උත්තරයක්.ඒ තමයි "එයා මගෙ සිහින කුමාරයා" කියන එක.ඒත් ඒක විස්තර කරන්න කිව්වොත් මට එහෙම කරන්න බෑ. මගේ හිතේ තිබුණ පින්තූරෙ මම වත් විශ්වාස නොකළ එකක්. මම හිතාගෙන හිටියෙ ඒක අර කුස රජතුමා තමන්ට විවාහයක් අවශ්‍ය නෑ කියලා කියන්න බැරි කමට කවාදවත් නොලැබෙයි කියලා හිතෙන තරම් ලස්සන කුමාරියක් ඇඹුවා වගේ මට කවුරුත් එපා නිසා මම දාගත්ත කොන්දේසියක් කියලා. කුස රජතුමාට අන්තිමට පබාවතිය මුණ ගැහුනා වගේම ඒක සුඛාන්තයක් වුණා. ඒත් සුරංඟනා කතාවක වගේ මුණගැහුණු සිහින කුමාරයාව මේ තරම් ඉක්මනට මට අහිමි වෙයි කියලා මම හිතුවෙ නෑ.
හැමෝගෙම හිතේ මාගැන තියෙන අදහස තමයි මම දුක නාඳුනන, සතුටෙන් හිනාවෙලා ජීවත්වෙන චරිතයක් කියන එක. ඔව් මම ජීවත් වුණේ සතුටින්. මම කවදාවත් පුහු ඔපය පස්සෙ ගියේ නෑ. මට තිබුණෙ බැඳීම හරිම ටිකයි. යාළුවො හිටියෙත් අතේ ඇඟිලි ගානට. ඒත් මම හැමෝටම පාහේ සුහද චරිතයක්. සතුටින් ඉන්න ඕනෑවටත් වඩා හේතු මට තියෙනවා.
ඔහු තරම් මගේ චරිතයට සමාන කෙනෙක් සක්වලේවත් නැතුව ඇති.වෙන මොන බාධකයකටවත් මම පටන්ගන්න දෙයක් නවත්තන්න බැරි බව දැන ගත්ත දෛවය පාවිච්චි කරල තියෙන්නෙ කොච්චර නරක තුරුම්පුවක්ද? ඒත් මට හිමිවුනොත් දෛවය ඒයාට මරණය උරුම කරනවළු. සටන් කලත් මම පරාදයි නොකලත් මම පරාදයි. අනේ කාටවත් වරදක් නැති මාවම මේ සෙල්ලමට ගාව ගත්තෙ ඇයි. එයාව මගේ යාළුවෙක් විදිහට මුණගැස්සුවානම් එයා මගේ හොඳම යාළුවා වෙන්න තිබුණා. ඒත් මගේ ප්‍රථම ප්‍රේමය වුණු එයා දිහා යාළුවෙක් විදිහට බලන්න මට බෑ.මාව මේ තරම් අසරණ කරන්න මම කළ වැරැද්ද මොකක්ද කියලා කවුරුහරි මට කියාදෙනවනම් කොච්චර හොඳද?
පරිගණක තිරයේ එහා පැත්තෙ ඉඳන් ඔහු අපි දෙන්නම කැමති ගීතයක පද මුමුණනවා. සමහරවිට එයා මම තරම් පිච්චෙන්නෙ නෑ මං හිතන්නෙ. මම හරිම සාමාන්‍ය කෙනෙක්. මට වඩා හොඳ අය ඕනෑ තරම්. ඒත් මට අහිමිවෙන්නෙ අර දුර්ලභ සිහින කුමාරයා. ඒක කොච්චර නරකද?
මට තවත් ලියන්න තරම් හයියක් නෑ.ඒත් මෙහෙම ලිව්වමවත් මගේ හිත සැහැල්ලු වෙයිද මන්දා? මට අඬන්න කවදාවත් ඔහුගෙ උරහිස ලැබෙන්නෙ නෑ.ඒක මට ඕනෑම මොහොතෙදිවත්. මට මැරෙන්නවත් බෑ නිදහසේ.මට එච්චර ආත්මාර්ථකාමී වෙන්න බෑ. ඒත් මේ කෙටි කාලීන බැඳීම මට කොච්චර රිද්දනවද කිව්වොත් මම ආයිම කලින් හිටපු තත්වෙට පත්වෙයි කියලා මට හිතාගන්න බෑ.
කවදාහරි ඔහුගේ වෙන වාසනාවන්තිය දකින්න මම බලාගෙන ඉන්නවා.

Monday, April 2, 2012

පූටියාගේ කතන්දරේ අංක එක (බල්ලන්ට ආදරේ කරන අයටයි )


ඉස්සර මටයි අපේ නංගිටයි බළල්ලු පේන්න බෑ. ප්‍රධානම හේතුව තමයි බළල්ලු හරිම ආඩම්බරකාර සත්තු ජාතියක් වීම. ඒ වගේම තමයි අපේ ගෙදර වැඩියෙන්ම ඇති කළේ බල්ලො තමයි. අපේ නැන්දාච්චිට පුළුවන් කාලෙ නම් බළල්ලු ඇති කළා. ඒත් අපි බළල්ලු එක්ක වැඩි බජනයක් නෑ.
මේ ඔක්කොම වෙනස්වුනේ අපේ ලෑලි කාමරේ ඇතුලෙ කොහේද යන බැළලියක් පැටව් තුන්දෙනෙක් දැම්මහම. මේ පැටව් තුන්දෙනා යන්තම් ඇවිදින්න පුළුවන්කාලෙ වෙනකොට ලෑලි කාමරේ ලෑලි වලින් එහාට මෙහාට ඇවිදින් ඒ ගොල්ලන්ගෙ අම්මා කෑම හොයාගෙන එනකල් ඇවිද ඇවිද ඉන්නවා. හරියට පාට පාට වූල් බෝල තුනක් ඇවිදිනවා වගේ. අපිත් ඉතින් ළඟට කිට්ටුවෙලා බලාගෙන ඉන්නවා. මේ බැළලි මීට කළිනුත් අපේ ලෑලි කාමරේ පැටවු දාලා උන්ට ඇවිදින්න පුළුවන් කාලෙ වෙනකොට අපිට කරදර නොකර අරන් ගියා. ඒ නිසා අපේ අම්මා කැමති වුණේ නෑ අපි මේ බළල් පැටව් ළඟට වැඩිය කිට්ටු වෙනවට. මේ පැටව් තුන්දෙනාගෙන් දෙන්නෙක් හරිම ක්‍රියාශීලීයි. (පස්සෙ දැනගත්තා තුන්දෙනාම බැළලි පැටව් කියලා) කොහොම හරි එක බැළලි පැටියෙක් හිටියා හරිම කෙට්ටුයි, දුබලයි ඒ වගේම ලෙඩ පාටයි. අපි හරියට දුක් වුණා මේ බැළලි පැටියා මැරෙයි කියලා. ඒ නිසා අපි දෙන්නත් එක්ක අම්මගෙන් බැනුම් අහගෙන මේ පැටවුන්ට ලෑලි කාමරේ ඇතුලෙම කෑම දෙන්න පටන්ගත්තා. වැඩි සැලකිල්ල අර දුබලයාට. හැබැයි අපි හරි බයෙන් තමයි මේ වැඩේ කළේ. මොකද බළල් අම්මා නම් අපිව කොයි වෙලාවෙවත් විශ්වාස කළේ නෑ. අපෙන් පැටවුන්ට හානියක් නෑ කියලා දැනගත්තත් එයා අපි ගැන ඇහැ ගහගෙනමයි හිටියෙ. අපි කන්න දුන්නත් එයා ඒක කෑවෙ පැටව් ඉන්න පැත්තට හැරිලා පැටව් දිහා බලාගෙන. තවත් පුදුම වැඩක් තිබුණා. අපි මේ බැළලිට ගේ ඇතුලෙ කෑම දෙන්න බෑ. ඌ කන්නෙ නෑ. එළියටම අරන් ගිහින් දෙන්න ඕනෙ. පස්සෙ තමයි අපිට කාරණේ තේරුණේ. එයා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පංගුව දීලා මිසක් කන්න කැමති නෑ. මම පළවෙනි වතාවට තමයි බළල්ලු අතරේ එහෙම දෙයක් දැක්කෙ.
කොහොම හරි මේ කියන කාලෙ සිංහල අවුරුද්දක් පහුවෙච්ච ගමන්ම වගේ. අර කවුරුත් කන්නැතුව අතින් අත යන කේක් තියෙනවනේ. අපි කළේ ඒ වගේ කේක් ගෙඩියක් අරගෙන කිරි වල පොඟවලා මේ බළල් පැටවුන්ට කන්න දෙන එක. ඇත්තටම ඒක කළේ අර ලෙඩ ගාණෙ ඉන්න බළල් පැටියා වෙනුවෙන්. අපේ හිත කියනවා මේ සතා අද හෝ හෙට මැරෙයි කියලා. කොටින්ම ඒ දවස්වල උදේ නැඟිට්ට ගමන්ම අපි හිතාගෙන යන්නෙ අනේ මේ සතා මැරිලද දන්නෙ නෑ කියලා. එයාගෙ ඇස්දෙක කහම කහ පාට කබ තට්ටුවකින් වැහිලා ඇස් ඇරගන්නත් බෑ. මම කරන්නෙ ප්‍රථමාධාර පෙට්ටියෙන් පුළුන් උස්සගෙන ගිහිලා ලාවට ඩෙටොල් මුසු කරපු වතුරෙන් කබ අයින් වෙන තුරුම පිහදාන එක. ටික දවසක් යද්දි සතා සනීප වුණා. හැබැයි තාමත් ඔතෑනියි. ඒත් අර අනිත් පැටව් දෙන්නා වයසටත් වඩා ක්‍රියාශීලියි. දවසක් අපි බලනකොට එයින් එක පැටියෙක් ළිඳේ වැටිලා මැරිලා. අනිත් පැටියාටත් මොකක් හෝ වෙනසක් තේරෙන්න ඇති. ඌත් එදා ඉඳලාම දුකින් ඉන්න බව පෙනුණා. දවසක් ඌ දොරක් අස්සෙන් රිංගන්න ගිහින් ආබාධිත වුණා. එයින් පස්සෙ මැරිලා ගියා. ඉතුරු වුණේ ඔතෑනියා විතරයි. සහෝදරියො දෙන්නම නැතිවෙච්ච ඔතෑනියාට අපේ අනුකම්පාව සහ අවධානය තදින්ම හිමිවුණා. අපි ආදරේට ඌට "චූටි පූසෝ - පූටි චූසෝ" කියන්න ගත්තා. චූටි පූස් කතාව හැලිලා ටික දවසක් යනකොට එයා පූටි චූස් වුණා. අන්තිමේදි ඒකත් කොට වෙලා "පූටි" වුණා. බළල්ලු අප්‍රිය කළ ගෙදරක නිත්‍ය සාමාජිකයෙක් වෙන්න පූටිට පුළුවන් වුණා. දැන් එයාගෙ සම්පූර්ණ නම කිව්වොත් "පූටි වික්‍රමසිංහ!"

Sunday, April 1, 2012

පංචායුධයේ රහස හෙළිවෙයි!


පංචායුධය අඳුනන්නැති කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නෑ.(නෑ නෑ පචායුධය නෙවෙයි හරි වචනේ, පංචායුධය තමයි ). අපි හැමෝම වගේ පංචායුධය පළඳලා තියෙනවනේ. ඒත් ඉතින් අපි කීයෙන් කීදෙනෙක් දන්නවද මේ පංචායුධයේ කොටලා තියෙන ආයුධ මොනවද කියලා? ෂිහ්! ලැජ්ජයි ලැජ්ජයි.... දන්නෙ නෑ? අනේ අනේ තියන්න වටින්නෙ නෑ නෙ! ඇත්තටම ගොඩක් දෙනාට රහසක් වෙලා තිබුණ මේ පංචායුධයේ ආයුධ වල රහස මීට අවුරුදු කීපයකට පෙර හෙළිදරව් කරගන්නට මට පුළුවන් වුණා. ඒක මට කියාදුන්නෙ අපේ අල්ලපු ගෙදර ශානි.

මේ මීට අවුරුදු පහකට විතර කලින් අපේ ශානි කෙලීට වයස අවුරුදු පහක් විතර කාලෙ වෙච්ච දෙයක්. ශානි නිතරම අපේ ගෙදර එනවා එයාගේ ඉංග්‍රීසි පන්තියෙ පාඩම් අහගන්න. මේ කාලෙ වෙනකොට ශානිගේ පොඩි මාමා එහෙම නැත්තම් අපේ ඉස්සරහ ගෙදර සමන්ත අයියගේ පුතා ඉපදිච්ච අළුත. පොඩි එකා මල්ලිට හරි ආදරෙයි. මොකද ඉතින් ශානිට එයාගෙම කියලා නංගියෙක් හම්බවුණේ වයස අවුරුදු අටකුත් පහුවෙලානේ. ඉතින් අපේ ගෙදර ආවම පාඩම් පැත්තක. මල්ලි ගැන විස්තර තමයි කියන්නේ.

කොහොම හරි දවසක් පාඩම් කියාදීම අපේ නංගිට සෙට් වුණා කියමුකෝ. මාත් බිම ඉඳන් මොකක්දෝ වැඩක් කරන ගමන් මේ දෙන්නගේ කතාවටත් ඇන්ටනාව දාගෙන ඉන්නවා. කතාව මල්ලිගෙන් පටන් අරන් මල්ලිගේ කරේ බඳින පංචායුධේ පැත්තට ගියා. ටිකක් වෙලා යනකොට කෙල්ල ෆුල් සීරියස් එකේ අපේ නංගිට මෙහෙම කියනවා. "අක්කෙ අක්කෙ මං දන්නවා පංචායුධේ මොනවද තියෙන්නෙ කියලා". ෂහ් මාර ළමයෙක්නෙ. අපි හිතුවට වඩා කෙල්ල මාර මීටරයක් නෙ.
අපේ නංගිත් ඉතින් කිව්වා "ආ කවුද අම්මද කියලා දුන්නෙ?කියන්නකො බලන්න. "

පොඩි එකා පටන්ගත්තා.... "හැන්ද, ගෑරුප්පුව, පිඟාන....". ළමයා කියාගෙන යනවා.අපි දෙන්නා හිනාව නවත්තගන්න බැරුව බිම පෙරළෙනවා. ඔන්න ඔහොමයි එදා අපි ශානිගෙන් පංචායුධයේ ආයුධ ගැන අළුත් අර්ථකථනයක් ඉගෙන ගත්තේ.

ළමයාගෙ වැරැද්දක් නෑ. ඒ ටික පේන්නෙ ඒ වගේනෙ. ඇරත් අද කාලෙ "කඩුව, තෝමරය, හක්ගෙඩිය, දුන්න, පාරාවලල්ල" වගේ දේවල් කවුද අඳුනන්නේ? අනේ මම දැකලත් නෑ පාරාවලල්ල. තෝමරය කියන්නෙ හෙල්ලට කියල තමයි මට නම් තේරුණේ. අනිත් එක එක එක පංචායුධ එක එක විදිහයි.මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ලියපු Some Customs and Superstitions Associated with the Childbirth in Sri
Lankan Sinhalese Society (ශ්‍රී ලාංකික සිංහල ජන සමාජයේ දරු උපත් හා බැඳුණු ඇතැම් චාරිත්‍ර හා විශ්වාස )
කියන මේ ලිපියෙ තියෙන විදිහට නම් කඩුව,හෙල්ල,දුන්න, කෙටේරිය හා පළිහ තමයි මේ ආයුධ ටික. ඒත් සුළබව දකින්න ලැබෙන පංචායුධ වල තෝමරය වෙනුවට තියෙන්නෙ තිශූලයක්. තව හක්ගෙඩිය සහ පාරාවලල්ලත් තියෙනවා.
දැන් ඉතින් ඉක්මනට තියෙන තැනකින් පංචායුධේ එළියට අරන් ආයුධ ටික බලලා මටත් කියන්නකෝ.

Saturday, February 18, 2012

ඉටි නැතිව ලියමු! ඔන්න ඔහොමයි කතාව හැදුනේ!- 1


අපි හුඟක් දෙනෙක් ලිපි යවන කොට පාවිච්චිකරන වචනයක් නෙ Sincere කියන එක. ඔන්න ඊළඟ දවසේ මේක ලියන කොට මතක තියාගන්න ඒ අපි ලියන්නෙ අපේ ලියුමෙ ඉටි ගෑවිලා නෑ කියන එක කියලා! :)
ඇත්තටම විශ්වාසී, අවංක වගේ තේරුමක් දෙන මේ වචනය ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වුණු වචනයක් කියලා තමයි සැලකෙන්නේ. ලතින් වලින් “sine” කියන්නේ "නොමැති" කියන එක.“cera” කියන්නේ ඉටි වලට,
ඉස්සර කාලේ (ඒ කිව්වේ දහසය වන ශතවර්ෂය තරම් කාලේ මූර්ති නිර්මාණ කරුවො තමන්ගේ නිර්මාණවල පළුදු වහන්න ඉටි භාවිතා කරල තියෙනවා. ඉතින් ඉටි නැති නිර්මාණයක් කියන්නේ තත්වයෙන් උසස් පිරිසිඳු නිර්මාණයකට. එහෙම නිර්මාණවල අර ලතින් වචන දෙක ලියලා නිර්මාණශිල්පියාගේ මුල් අකුරු යොදලා අත්සනක් දාන්න පුරුදුවෙලා ඉඳලා තියෙනවා. මේ පුරුද්ද නිසා බිහිවුණු "Sincere" කියන වචනේ අපි අද ලියුම් වල භාවිතා කරන්නේ අවංකත්වය හඟවන්න.
ඔන්න ඔහොමයි කතාව හැදුනේ!

Saturday, January 14, 2012

සිහිනය මිය නොයා යුතුය


බේත් නොවැටුණොත් හරියට උණ ගතියට ඇඟ රත්වෙත
ඒ වුණාට එහෙම කියල - කොයි විදිහෙන් නවතින්නද?
ඉඳගත්තා මැෂිම ළඟින්- කොටමි අකුරු එක පිට එක
මූණු පොතට ගිහින් වරෙන් මූඩ් එකත් හැදිල එන්න.
අමුත්තක් දැනෙනවා.. හෙම්බිරිස්සාවෙ හැටි
නෑ! නෑ!! නෑ!! අමතක වුණා වගේ මොකක් හරි
කාගෙද අද උපන්දිනේ? මූණු පොතේ එහෙම නැතේ!
එහෙනම් වෙනින් මුකුත්? කෝ බලන්න අද කවදද?
දා හතරක් ගෙවී ගිහින්- ජනේරුවත් මහළුවෙමින්
දා හතර...දා හතර...දා හතර....සේකර!
ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් දුන්නා ඊයේ- තාමත් නෑ වගෙ ඒකෙ වගක්
ව්භාගෙ අතළඟ තව වැඩ කට උඩ- මළ කවියෙක් හට කුමට ඉඩක්?
ඔව්! සේකර මැරිලා තමයි! මේ කොම්පියුටර් යුගේ තමයි!
ඒත්,
පුංච් කාලෙ පොත් රාක්කෙ හිටපු මගේ හිතවතාය
ඉස්කෝලෙ පුස්තකාලෙ සැඟවී උන් රසවතාය
මං ටික ටික ලොකුවෙනකොට අළුතෙන් කියවන්නට වුණු
කියවන්නට කියවන්නට අළුතෙන් පදරුත් මතුවුණු....
සමනොළ ගිර පදනම් කර එකමුතු වී ලොවම දිනන
ප්‍රියන්තගේ නව ලෝකය සිහිනෙන් මැවුවේ ඔහුමය
"අවුරුදු තිහකට පළමුව- පැවති සුරංගනා කතා සැබෑ වෙවී
ඉතිහාසයේ පස් අතරින් පණ ඉපදී මතු වී" එන
ලෝකය ගැන මට මුලින්ම සිහින ගෙනාවේ ඔහුමය...
පරම්පරා දෙකක් පුරා තව ලයනල් ගේ යුගයයි...
පරගැති භාවයේ අවජාතක උරුමය උරුම.
සේකර නම් මිය ගොසින්ය - ලෝ දහමට උරුම ලෙසට
එනමුදු.. සිහිනය මිය නොයා යුතුය...
අළුත් ලොවක් වෙනුවෙන් වන සිහිනය පණ ලැබිය යුතුය.
සමනොළ ගිරි හිස සිඹගෙන හිරු වඩිනා හැම දිනකම
දෙනෝ දහක් තව අළුතෙන් ඒ සිහිනය දැකිය යුතුය.

Saturday, December 31, 2011

ඔබේ කවිවල අරුත ගැඹුරුය-එහෙත් හදවත තරම් මිහිරිය


”වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”

මේ කවිය මුලින්ම මගේ නෙත ගැටුණේ මගේ වයස අවුරුදු දහයක් දොළහක් තරම කාලයේදීය. එදා සිට අද දක්වාම මේ කවි පද කිහිපය මා රැගෙන යන්නේ අමුතු චමත්කාරජනක ලෝකයකට. මම කුමාරගම රසිකයෙක් වුණේ එහෙමයි.
කොළඹ යුගයේ බොහොමයක් කවිවල නොදකින අව්‍යාජ්‍යත්වයක් කුමාරගමයන්ගේ කවි වල මම දකිනවා. ඒ බොහොමයක් කවි එදා මම මොනතරම් කියෙව්වද කියතොත් මට ඒවා කටපාඩම් හිටියා. මායා, අයියනායක, වලස් දඩයම වගේ කවි පන්ති වල තිබුණු දයාව වේදනාව, මගේ හදවතට අදටත් ළඟින්ම දැනෙනවා.
මේ වසරේ අවසාන සටහන කුමාරගමයන් ගැන වෙන්න ඕනෙ කියලා මම තීරණය කරලා තිබුණේ තිස් වෙනිදාට යෙදෙන කුමාරගමයන්ගේ අනුස්මරණය නිසා.
මම වගේ තව කුමාරගම රසිකයො ඉන්නවද?